by Admin
16 Oct, 2025
Articles
සිවුරු සකස් කිරීමේ දී මීළඟට සැලකිය යුතු තවත් වැදගත් අංශයක්
සිවුරු සකස් කිරීමේ දී මීළඟට සැලකිය යුතු තවත් වැදගත් අංශයක් වන්නේ සිවුරු වර්ණයයි. බුදුරජාණන් වහන්සේ විනය පිටකයේ චීවරක්ඛන්ධකයේ සිවුරු සඳහා අකැප වර්ණ සතක් (7) වදාළ සේක.
සිවුරු සකස් කිරීමේ දී මීළඟට සැලකිය යුතු තවත් වැදගත් අංශයක් වන්නේ සිවුරු වර්ණයයි. බුදුරජාණන් වහන්සේ විනය පිටකයේ චීවරක්ඛන්ධකයේ සිවුරු සඳහා අකැප වර්ණ සතක් (7) වදාළ සේක. “න, භික්ඛවෙ, සබ්බනීලකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බපීතකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බලොහිතකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බමඤ්ජිට්ඨකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බකණ්හානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බමහාරඞ්ගරත්තානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බමහානාමරත්තානි චීවරානි ධාරෙතබ්බානි, … යො ධාරෙය්ය, ආපත්ති දුක්කටස්සාති.” යනුවෙනි. (මහාවග්ගපාළි, චීවරක්ඛන්ධකය, 742පි) ඒ අනුව සියල්ලෙන් සියල්ල නිල්පැහැ, කහපැහැ, රතුපැහැ, මදටියපැහැ, කළුපැහැ, රත්වෑපිට පැහැ සහ පණ්ඩුපලාසවර්ණය යන වර්ණයන්ගෙන් යුතු සිවුරු අකැප වේ. එහිලා එකිනෙක වර්ණ පිළිබඳ විනිශ්චය සමන්තපාසාදිකා විනයාර්ථකථාවේ චම්මක්ඛන්ධක වර්ණනාවේ දැක්වේ. ඒ අනුව නිල්පැහැය යන්න දියබෙරළිය මලේ පැහැය වේ. ඒ හැර සෙසු නිල්පැහැය අකැප බවක් නොපෙනේ. කහපැහැය යන්න කිණිහිරි මලේ පැහැය ලෙස දක්වා තිබේ. රතුපැහැය යන්න බදුවද මලේ පැහැයයි. එය වනාහී තද රතු පැහැයක් වේ. මදටිය ඇටයේ පැහැය ද අකැප වේ. පෙණල ඇටයේ පැහැය වන තද කළු පැහැය ද අකැප වේ. රත්වෑයා යනු පත්තෑයා වේ. එකී සත්වයාගේ පිටේ වර්ණය අකැප වේ. එනම් දුඹුරු පැහැයට හුරු පැහැයක් වේ. පණ්ඩුපලාස වර්ණය යන්න විනයාර්ථකථාවේ මිශ්රක වර්ණයක් ලෙස දක්වා තිබේ. පණ්ඩුපලාස යනු ඉදුණු පත්රය අදහස් වේ. ඉදුණු පත්රෙය් පැහැය මිශ්රක වර්ණයක් යැයි පැවසීම සියුම්ව විමසුය යුතු වේ. සෑම ඉදුණු පත්රයක්ම ලෙන සමීපව බැලූ විට දිස්වන්නේ එහි එක් වර්ණයක් නොව විවිධ වර්ණ ඇති බවයි. අනෙක් අතට සියලුම ශාක වල ඉදුණු පත්ර එකම වර්ණයක් නොවේ. ඒ අනුව මෙම පණ්ඩුපලාස වර්ණය යන්නෙන් අදහස් වන්නේ විවිධ වර්ණ මිශ්රවූවක් බව හෙළි වේ. එනම් චීත්ත මෝස්තර මෙන් විවිධ වර්ණයන්ගෙන් යුතු සිවුරු අකැප වේ. කුරුන්දි අටුවාවේ දැක්වෙන්නේ මෙය ‘පදුමපුප්ඵවණ්ණා’ යනුවෙන් බව පැවසේ. එනම් පියුම්පතේ පැහැයයි. මෙහිදී අර්ථකථාවෙහි එකිනෙක පරස්පර විනිශ්චයන් දෙකක් ලෙස ඇතමෙකුට සිතිය හැකි වේ. එහෙත් එසේ නොව අර්ථකථා දෙකෙහි එකම කාරණය වෙනස් වචන වලින් කියූ ආකාරය වේ. පියුම් යැයි කී විට පියුම් වර්ග පසක් (පස් පියුම්) සඳහන් වේ. ඉන් කුමන පියුමේ වර්ණය දැයි සඳහන් නොවන බැවින් විවිධ වර්ණ අදහස් කළ බව හෙළි වේ. (උපුටා ගැනීමකි )